Thursday, 21 November 2024

පෙර නිමිත්ත



ගිගුම් දෙයි අහස 

මහ පොළොව දෙදරන්න 

තද සුළං රැළ හමයි 

අඹරවයි ගස් කරටි කැඩෙන්නට....

වැහි ලිහිණි තටුසලා 

කියයි මහ වැස්සක පෙර නිමිති

ගං වතුර රුදුරු වී

දෙගොඩ තලමින් ගලන්නට වෙර අදී 

බිඳුනු මගේ හිත සේම....💔

ගල්වන්න තැලුම් තෙල් 

පහරවල් නැතත් මිහිය මත පෙනෙන්නට

තියෙයි මිහි හිත පුරාවට නොපෙනෙන 

කළුතලා ගිය හිත් පලුදු 

මහා වැස්සට නොමැකෙන්න ඇඳී  

ශෛලමය සිත්තමක් මෙන්....

ගිගුම් දුන් විනාසෙක පෙරනිමිති 

ගියොතින් නැවත ආ දෙසට 

භාර වූ පඬුර ඔප්පු දෙයි මං 

දෙයියන්ට වැඳ වැඳ....🙏🏼




Saturday, 9 November 2024

මහ එළි මුව හඬ

මිනිස් හඬකි දෙසවනට ගැටෙන 

යා යුතු වුවත් ඉදිරියට 

නවතින්නට වෙයි මගින් 

පැටවුන් සමඟ මට.....

පණ ගැහෙන විට මහ එළි තැන්න ලෙස

සිටියෙ අප නිදහසේ කා බී

මේ වන දහන තුල....

පැටව් කෙලි දොළේ යෙදුනද

බියක් සැකයක් නැති වුනේ

විපතක් වේ යැයි ඔවුන්ට....

සද්ධන්තයෙකු ලුහු බැදී 

සුද්දගේ හෝර්ටන් තැන්න වූ පසු 

තමයි මේ සියලු කරදර....

මනුසත් දමින් ඔබ   

කරදරයක් නොවී

අවට වට පිට බලා 

ගියාට අපට කම් නැත....

කිමඳ,

මා මෙන්ම ඔබද 

මහ පොළොව මත උපන් 

මේ භූමියේ උරුමකරුවෝය....


Saturday, 19 October 2024

මගේ තෝමස් ❤️

 

මගේ තෝමස්,

අසු පිට නැගී ඔබ එන විට මට දැනුනේ බියක් ය. මා රඟන විලාසය ඔබ බලා සහ සිටින විට මට දැනුනේ සතුටක් ය. ඔබ වැනි අයෙක් මා අගයන විට දැනුනේ ආඩම්බරයක්ය.

කුලවතුන්ගේ නින්දා මැද ඔබ මට මෙතරම් ප්‍රිය වූයේ කෙසේදැයි නොදනී මම. කුල හීන මා ඔබෙන් ඉවතට යාමට නිතර වෙර දැරුවද  එය එසේ කළ නොහැකි වූයේ මගේ හිත පුරා ඔබ සිටි බැවින්ය.

නෙරපූ සේවයෙන් ඔබට  යාමට සිදුවෙයි නැවත මව් රටට. ඔබ පැවසුවද සයුරෙන් එතෙරට කෙසේ නම් එන්නද මම? ගැරහුම් වදිවී අප දෙදෙනාටම.

සමූදෙන්නම් ඔබ හට මම ලය පැලී යන සෙනෙහස කැටි කොට. අවසන් වරට ඔබ දැක, සයුර සිප ගන්නම් මම ඔබ නැතුව ඔබ එක්ක. නැවතීමට පෙර යමක් පැවසීමට ඇත මට. ආදරෙයි කලු ලොවීනා සුදු තෝමස්ට.

Tuesday, 8 October 2024

ආදරෙයි මගේ ප්‍රමිලාට ❤


ආදරණීය මධු ප්‍රමිලා,

ආදරය කියන්නෙ හිමිකර ගැනීමම නොව අත්හැරීමම බව තේරුම් ගැනීමට මා හට බොහෝ කල් ගත විය.අන්සතු ඔබට මා මෙතරම් පෙම් කලේ කුමන කරුණක් නිසාදෝ නොදනී මම.නමුදු මාගේ සැනසීම ඔබ ලඟ ඇති බව හොදින් දනී මම.මා හඳ බැදි ප්‍රේමය සඟවා ගත නොහැකි වූ බැවින් මා ඔබ වරදේ පැටලුවේදැයි සෑම විටම සිතුනි මට.

නවතින්නට පෙර යමක් පැවසිය යුතුය ඔබ හට.අප කල වරදෙහි දඩුවම මා විදින්නේ සතුටින්ම.ඒ ගැන කම්පා නොවන්න.සිතේ සවිය අවැසිම මොහොතකි මෙය.අපේ ප්‍රේමය දළු ලා වැඩෙන්නට ඉඩ හරින්න.දකින්නට වරම් නැති මුත් කෙසේ හො සැනසෙමි මම.පිය සෙනෙහෙ තියෙයි නූපන් පුතුට හඳ උතුරන්න.ඉතිං නවතින්නම්, ආදරෙයි මගේ ප්‍රමිලාට.



Sunday, 19 November 2023

ඇයත් මවකි




 ගී කියමින් තාලයකට

නලවන්නට බැරි වුනාට

දෑතට හොද හැටි වෙර ගනිමින්

සිය දරුවව වැලඳ ගනි තදට....


රසමුසු ආහාර පාන හොදට

කවා පෙවීමට නොහැකි නමුත්

ඇති සැටියෙන් කන්ට යමක්

සොයා බලා දෙයි දරුවට....


දැතේ දෙපයෙ වෙර දරම්න් සෑම දිනම

දරු පැට්යද වඩා ගෙනම

තාඩන පීඩන ගැරහුම් මැද්දෙන්

කෑම සොයා ගෙන යන්නේ

රිලා උනත් ඇයත් මවකි

දරු සෙනෙහස හොදින් දන්න....💓

Saturday, 1 July 2023

අපේ පැතුම




අංකුරයකි ගෙනැවිත් නුඹ

පෝච්චියක සිටුවන විට

කෘමි සතූන් වැනි සතුරන්

හානි කරයි කියා බියට

දිවා රැයේ නිදි වරමින්

වැටක් වුණා අපි නුඹ වට....

අපේ පැතුම කැකුලක් වී

පිපුණා රහසින් හෙමිහිට

පතුරවමින් සුවඳ අවට 

එළිය කලා අපෙ නිවසම....

 දෙබරුන්  බඹරුන් විලසින්

කැරකෙයි පදවැල් ගොතමින්

තලා පෙලා වනසන්නට

ඉඩදෙනු බෑ පිපුණු මලට

පතුරවමින් සුවඳ ලොවට

පරවෙනතුරු යම් දිනයක ....

පෙර නිමිත්ත

ගිගුම් දෙයි අහස  මහ පොළොව දෙදරන්න  තද සුළං රැළ හමයි  අඹරවයි ගස් කරටි කැඩෙන්නට.... වැහි ලිහිණි තටුසලා  කියයි මහ වැස්සක පෙර නිමිති ගං වතුර රුද...